Thursday, May 11, 2017

GMOA වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කරමි -GMOA හිටපු උප සභාපති



GMOA වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කරමි:
දොස්තරවරුන්ට තිබූ මහජන ගරුත්වය නැති වුනා:
GMOA හිටපු උප සභාපති වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා
වෛද්‍ය පාදෙණියට ලියන ලද අවවාදාත්මක ලිපියෙහි අවසාන කොටස.

සයිටම් සිදුවීම අරභයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භූමිකාව විමසීමට මම අපේක්ෂා කරමි. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ සයිටම් පවත්වාගෙන යෑමට තමන් තුල ඇති විරෝධය සංගමය ප්‍රකාශ කර තිබේ. එසේ වුවත් එකී අරමුණු ඉටු කර ගැනීම සඳහා පුන පුනා වර්ජන ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ යැයි මට නොදැනේ. ඒ හේතුවෙන් පොදු මහ ජනතාවට විඳින්නට සිදුවන දුෂ්කරතාවය සැබැවින්ම කණගාටුදායක ය. මෙවැනි වර්ජන සමාජයට එරෙහි අපරාධ ලෙස නම් කිරීමට මම පසුබට නොවෙමි.

අතීතයේ බරපතල වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළැඹීමේ දී අප වෙත නිශ්චිත මාර්ගෝපදේශ තිබූ බව ඔබට මතක ඇතැයි මම සිතමි. වැටුප් සම්බන්ධ කරුණු සහ වඩාත් පුද්ගලික ස්වභාවයේ කරුණු වෙනුවෙන් වර්ජන ක්‍රියාමාර්ග නොගත යුතු බවට පොදු පිළිගැනීමක් අප සතුව තිබිණි. අපගේ දරුවන් හට හොඳ පාසැල් ඉල්ලමින් වර්ජනය කිරීම ඒ අනුව ඇදහිය නොහැක්කකි.

සෞඛ්‍ය සේවය දේශපාලන මැදිහත් වීම් වලින් මුදවා ගැනීමේ පරමාර්ථයෙන් අවිධිමත් ස්ථාන මාරු සහ පත් කිරීම් වලට එරෙහි විරෝධයක් ලෙස වර්ජනය කරන ලද්දේ ඒ සඳහා වූ අවසන් පියවර ලෙස සලකා ගෙන ය. එම ඉලක්ක ඉතා සාර්ථක ලෙස අපි ඉහලින්ම ජයග්‍රහණය කෙළෙමු. අපගේ සාමාජිකයෙකුගේ රාජකාරි කටයුතු වලට කිසිවෙකු විසින් බාධා කළ විටෙක එම බාධා කළ තැනැත්තන් අත් අඩංගුවට ගැනීමෙන් පොලිසිය වැලකී සිටි අවස්ථා වලදී අප ප්‍රාදේශීය මට්ටමින් වර්ජන ක්‍රියාමාර්ග ගෙන තිබේ. එවැනි නොවැලැක්විය හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග සාධාරණීකරණය කළ හැකි බව මගේ වැටහීමයි.

කිසිදු හේතුවක් මත වෙනත් වෘත්තීය සංගම් වල සහාය අප ලබා ගත යුතු නැති බව පොදු එකඟතාවයක් අප අතර තිබිණි. ඒ එවැනි තත්ත්වයක දී ඔවුන්ගේ අරගල වලට එක්වීමේ බැඳීමක් අපට ඇති විය හැකි බැවිනි. මෙවැනි අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුව අපගේ සේවාව වන රෝගීන් සුවපත් කිරීම සෙසු අයගේ ක්‍රියාකාරී ක්ෂේත්‍ර සමග පටලවා ගැනීම හෝ කේවල් කිරීම කළ නොහැක්කක් වන නිසා ය.

දැන් සිදු වන දේ මුළුමනින්ම පිළිගත නොහැකිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහා වැඩ වර්ජනයක් ප්‍රසිද්ධියේ කැඳවීම වැරදි ප්‍රවණතාවකි. ‘ඉක්ටා‘ වැනි සාමාන්‍ය දේශපාලන කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරු වර්ජනය කිරීම ද පිළිගත නොහැක්කකි. ඉතිහාසයේ පළමු වතාවට ඔබ දේශපාලන පක්ෂ නායකයෙකු හට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඇමැතීමට ඉඩ ලබා දුන්නේය. මා ඔබට මේ වන විටත් පුද්ගලිකව පෙන්වා දුන් පරිදි එවැන්නක් කිසි දිනෙක නොවිය යුතුව තිබූ දෙයකි.

මේ සියල්ලේ පොදු ප්‍රතිඵලය වී ඇත්තේ පොදු ජනතාවගේ දෑස් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය අංශයේ වෙනත් පීඩාකාරී වෘත්තීය සංගමයකට සමාන වීම ය. පොදුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය වෘත්තීය කෙරෙහි වූ ජනතාවගේ ගෞරවය නැතිව ගොස් තිබේ. ඔබේ ක්‍රියාකාරකම් දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ වඩා පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ලෙස බොහෝ දෙනා සැක කිරීම වැළැක්විය හැක්කක් නොවේ.

මා දන්නා පරිදි සෞඛ්‍ය සේවය තුල ඔබ ඉතා සැලකිලිමත් ළමා ස්නායුවේද වෛද්‍යවරයෙකු මෙන්ම වෛද්‍ය විද්‍යා ගුරුවරයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි. සෙසු සේවාවන්ට සාපේක්ෂව වෛද්‍ය සේවයේ සාමාජිකයන් හට වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ අත්කර දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඔබට ගෞරවයක් තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ වෛද්‍යවරුන් අතර වඩාත් උසස් වෘත්තීය ප්‍රමිතීන් ඇතිකරනු පිණිස පොත පත ප්‍රකාශයට පත් කිරීම සහ වැඩමුළු පැවැත්වීම වැනි කටයුතු කිරීම සමාජයේ බොහෝ දෙනා නොදන්නා කරුණු ය.

එසේ නමුත් මා විශ්වාස කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ සේවය කර ඇති කාලය බොහෝ වැඩි බවය. අලුතින් සිතීමෙහි ලා ඔබ දැන් දුර්වල ය. ‘බලය‘ හේතුවෙන් සාමාජිකත්වයේ පොදු හැඟීම් නොසලකන තත්ත්වයට ඔබ පෙළැඹී සිටී. මා සිතන පරිදි දේශපාලන ක්ෂේත්‍රයේ දී පවා කිසිවෙකු කොතරම් යහපත් අයෙකු වුවත් වාර දෙකකට වඩා වැඩි වාර ගණනක් බලයේ සිටීමට ඉඩ දිය යුතු නැත.

ඔබ දරණ තනතුරේ මෙම වාරය අවසන් වෙද්දී ඉන් ඉවත්ව යාමට ඔබ දැන් සැලසුම් කළ යුතු ය. ඔබේ මුළු කාලයම සායනික කටයුතු වෙනුවෙන් කැප කරන්නේ නම් ඔබට මෙම සමාජය වෙත වඩාත් වැඩි මෙහෙවරක් ඉටු කළ හැකිය. ඒ සියල්ලටමත් වඩා ළමා ස්නායු වේදය යනු සාපේක්ෂ වශයෙන් වඩා නවීන ක්ෂේත්‍රයකි. එහි දියුණුවට ඔබ වැනි ශක්ති සම්පන්න නිර්මාණාත්මක සහ නායකත්ව ගුණාංග වලින් යුත් පුද්ගලයන් අවශ්‍යය.

මා අවංකව අපේක්ෂා කරන්නේ මගේ මෙම අවවාද යහපත් සිතින් ඔබ පිළිගනු ඇති බවයි.
ස්තූතියි
ඔබේ අවංක,
වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා.
( ඉංග්‍රීසි මුල් ලිපිය සහ ලිපියෙහි මුල් කොටසද සහිත
සම්පූර්ණ සිංහල පරිවර්තනය ලංකා ඊ නිව්ස් ප්‍රසිද්ධ කර ඇත)

No comments:

Post a Comment