Monday, April 17, 2017

‘සයිටම් වෛද්‍යවරුන්’ සහ ‘මොනරාගල වෛද්‍යවරුන්’

2011 දී
ජීව විද්‍යා අංශයෙන්
අපොස උසස් පෙළ සඳහා
පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 60,000 කි.
එහෙත්
වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගනු ලැබුවේ
1500 කට අඩු පිරිසක් හෙවත්
සියයට 2.5 කට අඩු පිරිසකි.

සයිටම් ආයතනයේ ශිෂ්‍ය ඩිල්ෂාන් සම්පත්
2011 අපොස උසස් පෙළ විභාගයේ
ජීව විද්‍යා අංශයෙන් විෂයයන් තුනටම
‘A’ සාමර්ථ ලබා ගනිමින් සමත් විය.
ඔහුගේ ‘Z’ ලකුණු මට්ටම වුණේ 1.9191 කි.
එහෙත්
කොළඹ දිස්ත්‍රික්කයෙන්
රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට
ඇතුළත් කර ගැනීම සඳහා සළකා බැලුණු
‘Z’ ලකුණු මට්ටම වුණේ 1.9196 කි.
ඒ අනුව,
කොළඹ මට්ටමට සාපේක්ෂව
0.0005 ක් වැනි හිඟයක් නිසා
ඔහුට විශ්ව විද්‍යාලයේ දොර වැසුණි.
මතක තබා ගත යුතු කාරණය වන්නේ,
මොහුට විශ්ව විද්‍යාලයේ දොරටු වැසෙන්නේ
විභාගය අසමත් වීම නිසා නොව,
විභාගයෙන් ඉහළම ‘ඒ’ සාමර්ථ තුනක් ලබා සිටියදීත්,
කොළඹ දිස්ත්‍රික්කයෙන්
විභාගයට පෙනී සිටීම නිසා වන බවයි.

මේ ක්‍රමයේ අමානුෂික හෙළුව පෙන්වන
අපූරු ඛේදවාචකය මේ කතාව පසුපසම සැඟවී තිබේ.
ඇත්තෙන්ම ඩිල්ෂාන් ඉපිද ඇත්තේ කොළඹ නොවේ.
ඔහු උපන්නේ මාතර ය.
එහෙත් මාතර නොදියුණු පාසලක
5 ශිෂ්‍යත්වයෙන් ඔහු ඉහළින්ම සමත් විය.
ඉතිං ඔහුගේ ඉදිරි අධ්‍යාපනයට ‘අතහිත දීමක්’ වශයෙන්
ඔහුව කොළඹ ආනන්ද විද්‍යාලයට තෝරා ගැනුණි.
අවසානයේ, ඔහුට රජයේ විශ්ව විද්‍යාලය අහිමි කරනු ලැබුවේ,
රජයේ 5 ශිෂ්‍යත්වයෙන් ලද ඒ ‘අතහිත දීමයි.’

එම වසරේම
කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන්
අපොස උසස් පෙළට පෙනී සිට
‘C’ දෙකක් සහ ‘B’ එකක් ලබා ගත් ශිෂ්‍යයෙකු
යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට
ඇතුළත් කර ගැනුණි.
ඔහුගේ Z ලකුණු අගය වුණේ, 1.1028 කි.
එනම් ඩිල්ෂාන්ට වඩා
0.8163 ක් අඩු ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට
මේ ක්‍රමය යටතේ රජයේ වෛද්‍ය පීඨයකට
ඇතුළත් විය හැකි වූ බවයි.

2009 දී කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන්
යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෝරා ගැනුණු
එක් ශිෂ්‍යයෙකුගේ අපොස උසස් පෙළ ප්‍රතිඵලය වුණේ
‘S’ තුනකි. ඔහුගේ ඉසෙඞ් ලකුණු අගය 0.1149 කි.
එම වසරේම, එනම් 2009 දීම
වෛද්‍ය විද්‍යාව සඳහා සයිටම් ආයතනයට
ශිෂ්‍යයන් 24 දෙනෙකු තෝරා ගැනුණි.
ඒ අතරින්
අඩුම අපොස උසස් පෙළ ප්‍රතිඵල සහිත ශිෂ්‍යයාට
‘S’ දෙකක් සහ ‘C’ එකක් තිබුණි.
ඔහුගේ Z ලකුණු අගය 0.2351 කි.
එනම්, මේ සයිටම් ශිෂ්‍යයාට වඩා
0.1202 ක් අඩුවෙන් ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට
රජයේ වෛද්‍ය පීඨයක ඉඩ තිබුණු බව ය.
රජයේ විශ්ව විද්‍යාලවල සිටින්නේ
රටේ ශිෂ්‍ය ප්‍රජාවේ හොඳම ‘මොළකාරයන්’ යැයි කියන
මිථ්‍යාවේ මහත කොතරම්ද?

මෙසේ සිදුවන්නේ,
‘දිස්ත්‍රික්ක ක්‍රමය’ යනුවෙන් හැඳින්වෙන
එක්තරා සූත්‍රයක් නිසා ය.
මේ සූත්‍රය තුළ,
අපොස උසස් පෙළ විභාගයෙන්
දීප ව්‍යාප්තව ඉහළම ලකුණු ලබන ශිෂ්‍යයන්ගෙන්
විශ්ව විද්‍යාලයකට තෝරා ගැනෙන්නේ
සියයට 40 ක් පමණි.
එනම්, සියයට 60 ක්ම තෝරා ගැනෙන්නේ
අඩු ලකුණු මට්ටමක් ඇති ශිෂ්‍යයන් අතරින් වන බවයි.
ඒ සඳහා භාවිත කෙරෙන නිර්ණායකය වන්නේ
අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්ක සඳහා
වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය යන කාරණයයි.
මේ පිරිස මා හඳුන්වන්නේ
‘මොනරාගල ශිෂ්‍ය පරම්පරාව’ වශයෙනි.

කන්නන්ගරගේ
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරටුව වුණේම
ජන්මය අනුව අධ්‍යාපනය ලැබීම/නොලැබීම තීන්දු වීමේ
අමානුෂික ක්‍රමය පිටුදැකීමයි.
එහෙත් මේ ඊනියා දිස්ත්‍රික් ක්‍රමය හරහා
පස්ස දොරකින් අප නැවත ඉඩ සලසා ඇත්තේ
ජන්මය අනුව අධ්‍යාපන අවස්ථාව තීන්දු කිරීමටයි.
අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
කෑ මොර දෙන පුද්ගලයන් අතරේ
මෙවැනි ‘මොනරාගල වෛද්‍යවරුන්’
කොපමණ සිටීදැ යි සොයා බැලීම වටී.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ගාමිණී වියන්ගොඩ
- රාවය -
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල

No comments:

Post a Comment