Wednesday, March 8, 2017

රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ සයිටම් දක්වා

-ආනුභාවනන්දගේ විග්‍රහය-
   මහාචාර්ය හීන් නිලමේ යනු තියුණු යුග දැක්මක් තිබූ බුද්ධිමතෙකි. පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශ වැනි ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රත්නපුර සීවලී විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු එවකට පැවැති ‘යුනිවසිටි ඔෆ් සිලෝන්‘ හි එම්බීබීඑස් ගෞරව උපාධිධාරියෙකි. ඔහුගේ දැක්ම සහ සිතුවිලි කිසි විටෙක කොදෙව්වට කොටු නොවීය. මහාචාර්ය හීන් නිලමේ නිරන්තරයෙන් ලෝකයේ නව ප්‍රවණතා හඳුනාගැනීමට උනන්දු වූවෙකි. හැත්තෑව දශකය වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය එක තැන පල්වෙන තත්ත්වයක පැවැති බව ඔහු දුටුවේ ය.
වරෙක ඔහු හිටපු එජාප සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා මැලේසියාවේ දී හමුවූ අවස්ථාවක මේ තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙළේය. ආචාර්ය කල්පගේ එවකට ක්වාලාලම්පුර මලයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කෙළේය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනය ගැන පැහැදිලි කළ මහාචාර්ය හීන් නිලමේ, ඒ වන විට ලෝක ප්‍රවණතාවයක් වී පැවැති Family Medicine ඉගැන්වීම සඳහා ලංකාවේ වෛද්‍ය පීඨයන්හි වෙනම දෙපාර්තමේන්තුවක් හෝ නොමැති බව පෙන්වා දුන්නේය. මෙම හමුවීමට වසරකට පමණ පෙර එනම් 1975 දී මහාචාර්ය හීන් නිලමේ තමන් නියෝජනය කරන College of General Practitioners of Sri Lanka ආයතනයට ආන්දෝලනාත්මක යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එනම් තම ආයතනය මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමට මූලික විය යුතු බවයි.
ලාභ ලැබීමේ අරමුණින් බැහැරව ස්ථාපිත කළ යුතු මෙම නව විද්‍යාලයේ මූලික අරමුණ විය යුත්තේ වෛද්‍ය විද්‍යාවේ නව ප්‍රවණතා ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හඳුන්වා දීම බව ඔහු පෙන්වා දුන්නේ ය. එහෙත් ඒ වන විට බලයේ සිටි සමගි පෙරමුණේ ‘සමාජවාදී‘ ආර්ථික දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියේ මහාචාර්ය හීන් නිලමේ ගේ යෝජනාව වැඩිදුර සාකච්ඡාවට හෝ නොගෙන ඉවත දැමීය.
එහෙත් ඉදිරි වසර දෙක තුන තුලදී ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම උඩු යටිකුරු කරමින් එජාපය හයෙන් පහක බලයක් සමගින් පාලනය අත්පත් කර ගත්තේ ය. ප්‍රථම වරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් බිහි වූ අතර එය ජයවර්ධන ජනාධිපතිවරයා සිය භාරයට ගත්තේ ය. අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ ය. ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ද සභාපතිවරයා විය. මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළ යුතු බවට වන තම දීර්ඝ කරුණු දැක්වීම් වලට  සාවධානව ඇහුම්කන් දෙමින් ඒවා අනුමත කළ ආචාර්ය කල්පගේ ට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ බලය ලැබී තිබෙනු දුටු මහාචාර්ය හීන් නිලමේ තම පැරණි යෝජනාව සිය වෛද්‍ය සංගමයට නැවත ඉදිරිපත් කෙළේය. මෙවර ඔහු එම යෝජනාව ඉදිරිපත් කෙළේ එම සංගමයේ ලේකම් වරයා වශයෙන් වීමද විශේෂත්වයකි.

හීන් නිලමේ ගේ හීනය - උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය

ඒ අනුව College of General  Practitioners ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාව අධ්‍යයනය කර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සැපයීමට තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙළේය. එම කමිටුව මූල්‍ය ලාභ ලැබීමේ අරමුණින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එවකට එම වෛද්‍ය සංගමයේ ලේකම් මහාචාර්ය හීන් නිලමේ මහතා කමිටු යෝජනාව ජනාධිපති ජයවර්ධන මුණ ගැසී ඉදිරිපත් කෙළේය. ඒ 1979 දී ය. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ අදහස කිසිදු පැකිළීමකින් තොරව පිළිගත්තේ ය. එහෙත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ මේ පිලිබඳ සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය හමුවී තවදුරටත් සාකච්ඡා කරන ලෙසය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වුවද ඔහු තනි තීරණ ගන්නා පුද්ගලයෙකු නොවීය. දශක හතරකට අධික කාලයක් පාර්ලිමේන්තු වාදියෙකු වශයෙන් කටයුතු කළ ඔහු විධායක ජනාධිපති වුවද, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තීරණ ගැනීමේ සම්ප්‍රදාය ආරක්ෂා කෙළේය.
සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු වශයෙන් ප්‍රකට ගාමිණී ජයසූරිය ඇතැම් දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ ‘ලංකාවට අහිමි වූ විශිෂ්ඨතම අගමැතිවරයා‘ වශයෙනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ප්‍රථමයෙන්ම ප්‍රශ්න කර සිටියේ නව වෛද්‍ය විද්‍යාලය සඳහා ගුරුවරුන් සපයා ගන්නේ කෙසේද ? යන්නයි.  ඒ වන විට රජයේ වෛද්‍ය පීඨයන්ගේ සේවය කරන ස්ථිර ගුරුවරුන් නව වෛද්‍ය විද්‍යාලය සඳහා බඳවා නොගන්නා බවට සහතිකයක් අවශ්‍ය බව ගාමිණී ජයසූරිය අවධාරණය කරන්නේය. ඉන් පසුව නැගෙන ප්‍රශ්නය වන්නේ නව වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරන්නේ කොතැනකද යන්නයි. සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය මහතාට අවශ්‍ය වන්නේ සිය ආසනය වන හෝමාගමට නව වෛද්‍ය විද්‍යාලට ලබා දීමට ය. එහෙත් ඒ සඳහා ප්‍රායෝගික දුෂ්කරතා දෙකක් මතුවේ. පළමුවැන්න එවකට පැවැති හෝමාගම රෝහලේ සීමාන්තික බවයි. දෙවැන්න කොළඹට ඇති දුර ප්‍රමාණයයි. අවසානයේ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාගම ස්ථාපිත කිරීමට තීරණය විය.

වැටුප් නෑ ලාභත් නෑ

1980 ජූලි මාසයේදී නව වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ යෝජනාව ජයවර්ධන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පනත ඒකච්ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත විය. නව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ නොලැබීමේ අරමුණින් බැහැර පාඨමාලා ගාස්තු මගින් ආයතනය පවත්වාගෙන යන සංකල්පය මත ස්ථාපනය කළ අතර පස්දෙනෙකු ගෙන් සමන්විත පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොලබා සේවය ලබා දීමට එකඟ විය.
පාලක මණ්ඩලය සමන්විත වූයේ College of General  Practitioners  හි කීර්තිමත් වෛද්‍යවරුන්ගෙන් සහ වෘත්තීයවේදීන්ගෙනි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පෞද්ගලික අයිතිකරුවෙකු නොවූ අතර එය පවත්වාගෙන යෑමේ සහ මෙහෙයැවීමේ වගකීම එම වෛද්‍ය සංගමයට පැවරිණ.
කුඩා පරිමාණයෙන් නමුත් සැළසුම් සහගතව සාර්ථකව ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විශාල ඉල්ලුමක් ඇති විය. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා පසු කලෙක හෙළිකළ පරිදි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට රජයේ කිසිදු මූල්‍ය ආධාරයක් නොලැබුණු අතර කිසිදු දේපොලක් නොමිලේ ලබා දුන්නේ ද නැත. අවම වශයෙන් බදු සහන පවා නොලැබිණ. එහෙත් සෑම වසරකම එක් නව ගොඩනැගිල්ලක් එක් කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට පාලක මණ්ඩලය සමත් විය.
නව විද්‍යාලය ස්ථාපිත කර වසරක් ගත වන විට රුපියල් මිලියන 55 ක් වැය කරමින් ඇඳන් 350 කින් සමන්විත රාගම නව රෝහල ඉදි කිරීමට ඔව්හු සමත් වූහ.
සිසුන්ගෙන් ලබා ගන්නා පාඨමාලා ගාස්තු නිසි ලෙස කළමණාකරනය කිරීම මගින් සහ දැඩි මූල්‍ය විනයක් භාවිතා කිරීමෙන් මෙම ඉලක්ක ජය ගැනීමට ඔවුන්ට හැකි වූ බව ආචාර්ය කල්පගේ ගේ තක්සේරුවයි.
ආසියාවේ එවකට ස්ථාපිත කර තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි පාඨමාලාවන්ට වඩා සියයට පණහකින් පමණ අවම මුදලකට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සිය පාඨමාලා ලබා දීම හේතුවෙන් පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඉල්ලුම් පත් 1150 ක් ලැබී තිබුණු නමුත් පළමු කණ්ඩායම සිසුන් 100 කට සීමා විය. ඒ අතරින් 20 දෙනෙකු විදේශ සිසුන් විය. සෑම සිසුවෙකුම බඳවා ගැනීමට සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර අපොස උසස් පෙළ, අධ්‍යාපන සුදුසුකම් සඳහා සම්මුඛ පරීක්ෂයේ ලකුණු 70 ක් හිමි වූ අතර අපොස සාමාන්‍ය පෙළ සඳහා තවත් ලකුණු 10 ක් හිමි විය. විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා තවත් ලකුණු 10 ක් හිමි වූ අතර ඉතිරි ලකුණු ප්‍රමාණය හිමි වූයේ අපේක්ෂකයා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අන්දමට ය. මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතීන්ට සමපාත වන බව පැහැදිලිය.

වෛද්‍ය මාෆියාව නැගිටියි

උතුරු කොළඹ විශ්ව විද්‍යාලයට අද මෙන්ම විශාල විරෝධයක් මතු විණ. එම විරෝධය මෙහෙයැවූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එදා මෙන් අදත් කිසිදු පොදු අරගලයක් වෙනුවෙන් ඉදිරිපත් නොවන මෙම මාෆියාව උනන්දුවන්නේ තමන්ගේ ‘කුලයේ‘ ආරක්ෂාව ගැන පමණි. එදා ඔවුන් භීතියට පත් වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන්ට රජයේ වෛද්‍ය රැකියා ලබා දීමෙන් තමන්ගේ කෝටාව අඩුවිය හැකිය යන්නය. ඒ මිත්‍යාව කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාජ මත වපුරුවමින් රජයේ විශ්ව විද්‍යාල සිසුන් පාරට ගැනීමට ඔව්හු ක්‍රියා කළහ.
ජනාධිපතිවරණය පරාජය වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටි ජවිපෙ ට ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉල්ලමක් විය. ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ සටන් පාඨය ඉදිරියට දමමින් විශ්ව විද්‍යාල ඇවිලවීමට ඔව්හු ක්‍රියා කළහ. උසස් පෙළ අසමත් සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කර ගන්නා බවත් ඔවුනගේ අධ්‍යාපනික සහ සායනික ප්‍රමිතිය පහළ බවත් කිසිදු පදනමක් නැති චෝදනා එල්ල කරමින් රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතයක් නිර්මාණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූ වසර 8 ක කාලය පුරා සිසුන් 800 ක් බඳවා ගනු ලැබූ අතර ඒ සියලු දෙනාටම අදාළ සුදුසුකම් සපුරා තිබූ බව පසුකලෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදුකළ පරීක්ෂනයකදී ඔප්පු වූ අතර එම සිසුන්ගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පාර්ලිමේන්තුවේද සභාගත කර තිබේ.
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ධනපතියන්ගේ දූ දරුවන්ට විවෘත වූ අධ්‍යාපන ආයතනයක් බවත් එය නිදහස් අධ්‍යාපනය විනාශ කරන යක්ෂයෙකු බවත් ඒ දිනවල සමාජගත කර තිබූ අදහසයි. එහෙත් ඒ අදහස මිත්‍යාවකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ (ඒ වන විට එය රජයට පවරාගෙන තිබිණ) ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා ඒ බව තහවුරු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීමේදී කිසිදු ජාති, ආගම්, හෝ ලිංග බේදයක් නොතිබූ අතර වසර 8 ක කාලය තුල ඇතුලත් කර ගත් සිසුන් 800 න් සියයට 60 කගේ දෙමාපියන් පාසැල් ගුරුවරුන් වූහ. තවත් සියයට 20 කගේ දෙමාපියන් වෘත්තීය වේදීන් වූ අතර ඉතිරි පිරිස සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළහ. විශේෂයෙන් ගුරුවරුන් තම ඉඩමක් විකුණා හෝ තම දූ දරුවන්ට දෑ වැද්ද ලබා දීමට ඉතිරි කළ මුදලක් හෝ නිවසක් තැනීමට ඉතිරි කළ මුදලක් හෝ දරුවන්ගේ අධ්‍යාපනයට ආයෝජනය කර තිබූ බව ආචාර්ය කල්පගේ හෙළි කෙළේය. සුපිරි ධනපති පංතියේ ළමුන් මෙම වෛද්‍ය විද්‍යාලයට එක් නොවූ බව හෙළි කළ ඔහු උදාහරණයකට පෙන්වා දුන්නේ එකදු මැණික් මුදලාලි කෙනෙකුගේ දරුවෙකු හෝ රාගමට නොපැමිණි බවයි. 

වෛද්‍ය මාෆියාවේ කුහක කම

ආචාර්ය කල්පගේ එම දේශනයේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගැනද අපූරු හෙලිදරව්වක් කෙළේය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට මාරාන්තික ලෙස විරුද්ධ වීම පසුපස ඇත්තේ එවකට එහි සිටි ප්‍රධානියෙකුගේ දරුවෙකු එම විද්‍යාලයට ඇතුලත් කර නොගැනීමේ පෞද්ගලික කෝන්තරයක් බවයි. එම වෛද්‍යවරයාගේ දුව පළමු කණ්ඩායමට ඇතුලත් වූ අතර ඒ සඳහා ඇය සුදුසුකම් සපුරා තිබිණ. ඉන්පසුව ඔහුගේ පුත්‍රයාද උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඉල්ලුම් කළ නමුත් ඔහුට අවශ්‍ය සුදුසුකම් නොමැති වීම හේතුවෙන් විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි විය. එය තම අභිමානයට එල්ල වූ මරු පහරක් වශයෙන් සැළකූ එවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ගොනු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූ අවස්ථාවේ නොතිබූ විරෝධයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුව මතු කරන්නේ එම පෞද්ගලික සාධකය හේතුවෙනි.
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම කුසලතා මත පදනම් වූ බැවින් සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වූ බොහෝ වෛද්‍යවරුන්ගේ දූ දරුවන් ගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප විය. මෙම ප්‍රතික්ෂේප වීම් බොහොමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වෛරී විරෝධයන් බවට පරිවර්තනය විය.
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව එයට විරෝධය දැක්වූවෝ එදා නිරන්තරයෙන් ප්‍රශ්න කළහ. එහෙත් අද මෙන්ම එදා ද එය ව්‍යාජ මවා පෑමක් විය. ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රචණ්ඩ විරෝධතා තීව්ර වෙමින් පැවැති වකවානුවේ එම්.බී.බී.එස් (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය) උපාධිය වෙනුවට විදේශ උපාධියක් දීමේ විකල්පය තෝරා ගැනීමට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩලය තීරණය කළහ. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ පැරණිතම වෛද්‍ය විද්‍යාලයක් වන ඇබඩීන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග එක්වීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනික, සායනික ඇතුළු අනෙකුත් අංශයන්හි ප්‍රමිතීන් පරීක්ෂා කළ බ්‍රිතාන්‍යයේ ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය විද්‍යා උපාධිය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ලබා දීමට තීරණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පහල මට්ටමක පැවැතියේ නම් ලෝක ප්‍රකට ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය උපාධිය ලබා දීමට එකඟ වනු ඇතිද?

ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයාගේ මුග්ධ තීරණය

එහෙත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රේමදාස ජනාධිපතිවරයා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට තීරණය කෙළේය. මෙය මුග්ධ දේශපාලන තීරණයකි. එහෙත් ජනප්‍රිය දේශපාලනය තම අත් පොත කරගෙන සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා රටේ අනාගතය හෝ ලෝක ප්‍රවනතා හෝ මත තීරණ ගත් පුද්ගලයෙකු නොවීය. ඩඩ්ලි යුගයේ පූට්ටු පාලම් තැනූ ප්‍රේමදාස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ වීරයා බවට පත්වීමට උත්සාහ කෙළේය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකින් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම හරහා එජාපයේ ජයවර්ධන හිතවාදී කන්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමද ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අරමුණ විය. එක ගලින්  කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීම ‘ප්‍රේමදාස ඉලක්කය‘ විය. එහෙත් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු විනාශ කෙළේ මෙරට මෙතෙක් ස්ථාපිත කළ වඩාත් ඉදිරිගාමී පෞද්ගලික විශ්ව විද්‍යාලයයි.
පළමුව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීමේ ව්‍යාපාරික අරමුණින් මුදලාලිලා පැලැන්තියක් ආරම්භ කළ ව්‍යාපෘතියක් නොවීය. මෙම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙළේ මෙරට කීර්තිමත් වෛද්‍ය සංගමයක් වන  College of General Practitioners of Sri Lanka විසිනි. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි කාලකන්නි මාර පුත්‍රයන්ගේ වෘත්තිය සමිතියක් නොවීය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරනු ලැබුවේ උපාධි පාඨමාලා හදාරණ සිසුන්ගේ ගාස්තු මගින් නඩත්තු වන ලාබ නොලබන ආයතනයක් වශයෙනි. එහි පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොගෙන ගරු සේවයක් කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අධ්‍යාපනික සායනික සහ අනෙකුත් අංශයන්හි ඉහළ ප්‍රමිතියක් අඛණ්ඩව පවත්වාගෙන ගියේය. ඒ වන විට නිශ්චිත නියාමන යාන්ත්‍රණයක් නිර්මාණය වී නොමැති වුවද ( අදටත් නැත) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කිරීම පිලිබඳ පරීක්ෂා කෙළේය.
ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයා පටු දේශපාලන වාසි තකා විනාශ කෙළේ එවැනි ස්ථාවර මට්ටමක පැවැති වෛද්‍ය විද්‍යාලයකි. නවීනත්වයට පා තැබීමට සූදානම් වූ ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයකි.

වෛද්‍ය මාර පුත්‍රයන් සහ ජවිපෙ ෆැසිස්ට් වාදීන් කළ විනාශය 

ප්‍රේමදාස ජනාධිපතිවරයාට එකී විනාශය කිරීම සඳහා අවශ්‍ය අවි ආයුධ දුන්නේ මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මිනීමරු ජවිපෙ විසිනි. මාර පුත්‍රයෝ වෛද්‍ය සිසුන් පාරට ඇද දමමින් අඛණ්ඩ උද්ඝෝෂන කළහ. ඔව්හු වරෙක උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහර දීමට පවා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ව උසි ගැන්වූහ. එම ෆැසිස්ට් ප්‍රහාරයන්ගෙන් තුවාල ලැබූ උතුරු කොළඹ වෛද්‍ය සිසුන් ගණනාවක් රෝහල් ගත කිරීමට පවා සිදුවිය. අනෙක් පාර්ශවයෙන් ජවිපෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල ඉලක්ක කර ගනිමින් සිය මිනීමරු ත්‍රස්තවාදය ක්‍රියාත්මක කෙළේය. ඒ අද පූස් පැටවුන් සේ දොඩවන අනුර දිසානායකලාගේ ජවිපෙ විසින් කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මෙන්ම මොරටුව සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන බල්ලන් සේ මරා දැමූ යුගයයි.  උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයන්ට දිගින් දිගටම ජවිපෙ විසින් එල්ල කරන ලද මරණ තර්ජන හමුවේ විදේශ ගත වීමට සිදුවිය. ඒ අතර ජවිපෙ විසින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට බෝම්බ ගසා එය විනාශ කෙළේය. ෆැසිස්ට්වාදී භීෂකයන් වූ මෙම දෙපාර්ශවයම එක සේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීමට දායක වූහ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ  සභාපති මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයේදී එම විද්‍යාලය රජයට පවරා ගැනීමේ ප්‍රේමදාස රජයේ තීරණය දැඩිව විවේචනය කෙළේය. මෙරය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය ආයෝජනය කරමින් ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීම ජාතික අපරාධයක් බව කියා සිටි ඔහු, එසේ බිහිකළ ප්‍රමිතියෙන් ඉහළ ආයතනයක් කිසිදු වන්දියක් නොගෙවා රජයට අත්පත් කර ගැනීම නින්දා සහගත ක්‍රියාවක් බවද පෙන්වා දුන්නේය.
වසර 8 ක කාලය පුරා පරිපූර්ණ වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම වචනයේ පරිසමාප්තියෙන්ම ජාතික අපරාධයකි. සමාව දිය නොහැකි ජාතික අපරාධයකි. මෙම ආයතනය අද පැවතියේ නම් එය ආදර්ශයට ගෙන තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් මේ වන විට බිහිවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණ. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ආශාවෙන් සිටි සිසුන් දහස් ගණනකට එම සිහිනය සපුරා ගැනීමට ඉඩ හිමිවෙනවා ඇත. එය පොදු ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් වර්ධනයට හේතුවනවා ඇත.

රටට අහිමි වූ ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය

මේ සියල්ලටම වඩා වැදගත් සාධකය වන්නේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් ශ්‍රී ලංකාව පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමට තිබූ හැකියාවයි. මහාචාර්ය හීන් නිලමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ සිහින දකින හැත්තෑව දශකයේදී ආසියාවේ කිසිදු රටකට පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමට අදහසක් හෝ නොතිබිණ. ආසියාවේ අද පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන සිංගප්පූරුව පවා ඒ දිනවල වැඩි අවධානය යොමුකර තිබුණේ සිය රාජ්‍ය විශ්ව විද්‍යාලය ශක්තිමත් කිරීම පිලිබඳව ය. ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, තායිලන්තය, වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අද ප්‍රමුඛයන් වී සිටින රටවල් මහාචාර්ය හීන් නිලමේලා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවධියේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිලිබඳ කිසිදු අවධානයක් යොමු කර තිබුනේ නැත.
ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්ව විද්‍යාල ගිනි තබමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛරී සමාජ ව්‍යාපාරයක් බිහි නොකෙළේ නම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වඩාත් පුළුල් වී විදේශ සිසුන්ගේ විශාල ආකර්ශනයක්ද දිනා ගැනීමට විශාල හැකියාවක් තිබිණ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමෙන් පහෙන් එකක් විදේශ සිසුහු වූහ. හෙහෙත් එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධතා මතුවීමත් සමග නව විදේශ සිසුන්ගේ ආකර්ශනය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ගිලිහී ගියේ ය. රටට අහිමි වූ විදේශ විනිමට ඩොලර් මිලියන ගණනකි. දැවැන්ත අලාභය වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමයි. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනන ප්‍රමුඛයෙකු වී සිටින මැලේසියාව සිය පළමු පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කෙළේ වසර 1989 දීය. තායිලන්තට සහ දකුණු කොරියාව එම ප්‍රවාහයට එක් වූයේ 90 දශකයේ මුල් භාගයේය. සැබැවින්ම මෙය පටු දේශපාලන අවස්ථාවාදය හේතුවෙන් අපට අහිමි වූ ඓතිහාසික අවස්ථාවකි. 

රාගම දී කළ වරද වසර 30 ක පසු මාලබේදී යලිත්..

ඉතිහාසයේ එකම වරද දෙවරක් කරන්නේ නම් එය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වරද අද අපි මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටිමු. 
මාලාබේ වෛද්‍ය විද්‍යාලය යනු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය මෙන් ලාබ ලැබීමේ අරමුණින් බැහැරව වෛද්‍ය සංගමයක් විසින් ආරම්භ කරන ලද ආයතනයක් නොවේ. එය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු නමැති හිටපු දේශපාලනඥයා ලාබ ලැබීමේ අරමුණින් ආරම්භ කළ ආයතනයකි. වසර 2009 දී මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ රුසියාවේ Nizhuy Novgorod State Medical Academy නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙසය. මාලාබේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන් අවසන් වසරේ අධ්‍යාපනය සඳහා එම රුසියානු වෛද්‍ය විද්‍යාලයට යා යුතුය. මෙම සංකල්පය යටතේ ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාලය නොහොත් ‘පෞද්ගලික විද්‍යාල‘ ගණනාවක් ස්ථාපිත කර තිබේ. පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂනය, ඉංජිනේරු විද්‍යාව, මූල්‍ය හා කළමණාකරනය ඇතුලු විෂයන් ගණනාවකට උපාධි ලබා දෙන විද්‍යාලයන් හි මව් විශ්ව විද්‍යාල ඇමරිකාව, අයර්ලන්තය, තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, වැනි රටවල පිහිටා තිබේ. අදාල උපාධියේ අවසාන වසර හෝ දෙක සම්පූර්ණ කිරීමට අදාල මව් විශ්ව විද්‍යාලයට යෑමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන සිසුන්ට සිදුවෙයි. මෙම පෞද්ගලික විද්‍යාලයන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ විරෝධතාවයක් සමාජය තුල නොමැත. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේ සිට ජවිපෙ, පෙරටුගාමී මෙන්ම පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසර 1980 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වාදනය කළ පරණ තැටියම වාදනය කරමින් සිටිති. මෙම වාදනය වියරුවක් බවට පත් වූයේ 2011 අගෝස්තු 30 වෙනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ විශ්ව විද්‍යාලයට ඔවුන්ගේ වෛද්‍ය උපාධි පිරි නැමීමේ අවස්ථාව ප්‍රදානය කිරීමත් සමග ය.

නියාමනයක අවශ්‍යතාවය

මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීම සහ ඔවුන්ට තමන්ගේම වෛද්‍ය උපාධි පිරිනැමීමේ අයිතිය ලබා දීම පිලිබඳව ප්‍රශ්න පවතින බව රහසක් නොවේ. එහෙත් ඒ සඳහා හේතු වී ඇත්තේ අපට පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති කමය. පෞද්ගලික විශ්ව විද්‍යාලවලට තබා හන්දියක් හන්දියක් ගානේ බිහි වී තිබෙන ජාත්‍යන්තර පාසැල් නියාමනය කිරීමට හෝ අපට ශක්තිමත් යාන්ත්‍රණයක් නැත. මෙය අවාසනාවන්ත මෙන්ම කාලකන්නි තත්ත්වයකි. රටක අධ්‍යාපනය යනු අනාගත පරපුරේ ගමන් මගට වන අත්වැලයි. එම අත්වැලේ ප්‍රමිතිය ගැන නොසැලකීම ජාතික අපරාධයකි.
ජාත්‍යන්තර පාසැල් දහස් ගණනින් බිහිවීමත් සමග ඇති වූ වෙළඳ පොල තරඟකාරීත්වය හේතුවෙන් ඇතැම් ජාත්‍යන්තර පාසැල් ස්වයං නියාමනයක් පවත්වාගෙන යමින් තම ප්‍රමිතිය ඉහළ මට්ටමේ තබා ගැනීමට උත්සාහ කරයි. එමගින් තමන්ට ඉල්ලුමක් ඇති කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. මෝහන් ලාල් ග්‍රේරෝ ගේ ‘ලයිසියම්‘ ජාත්‍යන්තර පාසැල් ජාලය මෙයට ශක්තිමත් උදාහරණයකි. ‘ලයිසියම්‘ බිහිකර වසර කිහිපයකින්ම ජාත්‍යන්තර පාසැල් අතරින් කැපී පෙනීමට එහි අයිතිකරු මෝහන් ලාල් ග්‍රේරෝ  සමත්විය. අද රජයේ සුපිරි පාසැලකට ලමයෙක් ඇතුලු කරනවාට වඩා ‘ලයිසියම්‘ ජාත්‍යන්තර පාසැලට ලමයෙක් ඇතුළු කිරීම දුෂ්කරය. ඔවුනට එතරම් විශාල ඉල්ලුමක් පවතී. එම ඉල්ලුම නිර්මාණය වූයේ අධ්‍යාපන ප්‍රමිතිය, ඉහල විනය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පිලිබඳ දැඩි අඛණ්ඩ අවධානයක් පවත්වාගෙන යෑම හරහා ය. මෝහන් ලාල් ග්‍රේරෝ  මජර දේශපාලනයට එක් නොවී සිටියේ නම් පෞද්ගලික අධ්‍යාපන ව්‍යවසායකයෙකු වශයෙන් රටට විශාල සේවයක් කිරීමේ හැකියාවක් තිබිණ. 
කෙසේ වුවද ප්‍රාථමික මට්ටමේ පවතින පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම වසංගතයක් වී තිබෙන ජාත්‍යන්තර පාසැල් නියාමනය කිරීමට ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. පෞද්ගලික අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක වන ඕනෑම රටක මෙවැනි නියාමන ව්‍යුහයක් දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කළ යුතුවන්නේ විනිවිද භාවයකින් යුතු ආයතන කිහිපයක නියෝජිතයන්ගෙන් සමන්විත ශක්තිමත් ව්‍යුහයකි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ බලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පමණක් පවරා දිය යුතු නැත. එසේ වුවහොත් ඔවුන් මේ වන විට රාජ්‍ය ව්‍යුහයට ගෙනදී තිබෙන වින්නැහිය පෞද්ගලික අංශයටද ලඟා කර දෙනු නිසැකය. එබැවින් එකී නියාමන ව්‍යුහයට වෙනත් වෘත්තීයවේදී නියෝජිතයන් එක් කර ගත යුතුය.
නිදසුනක් වශයෙන් වෛද්‍ය විද්‍යාලයක් නියාමනය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයෙක්ද, ඉංජිනේරු උපාධිය පිරිනමන පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නියාමනය සඳහා ශ්‍රී ලංකා වරලත් ඉංජිනේරු ආයතනයේ සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ නියෝජිතයන් එක්කර ගැනීම වැදගත්ය. වෘත්තීයවේදී ආයතන නියෝජිතයන් මෙන්ම පොදු ජනතා නියෝජනය වෙනුවෙන් දෙමාපිය සංගමයක නියෝජිතයෙකුට අවස්ථාව දිය හැකිය. මෙවැනි නියාමන ආයතනයක් ගන්නා තීරණ පාර්ලිමේන්තුවට වග කිව හැකි ආකාරයට නීතිමය රාමුවක් ස්ථාපිත කළ හැකිය. මේ වන තෙක් ශක්තිමත් නියාමනයක් රජය විසින් ස්ථාපිත නොකිරීම හේතුවෙන් විශේෂයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යෑමේ ගැටලු පැන නැගී ඇති බව රහසක් නොවේ.
රටක් වශයෙන් අප කළ යුතුව ඇත්තේ එම අඩු පාඩු මග හරවා ගැනීම සඳහා ශක්තිමත් නියාමන ව්‍යුහයක් ස්ථාපිත කිරීම මිස දැනට ස්ථාපිත කර තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල විනාශ කිරීම නොවේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කර සිදුකළ ජාතික අපරාධය මාලබේට සිදුකළ යුතුව නැත.

අවලාද දෙස විචාරවත්ව බලමු..! සුදුසුකම් නැතිද?

උතුරු කොළඹ විද්‍යාලයට එරෙහිව ජවිපෙ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ගිය අවලාද සහ අසත්‍ය ප්‍රකාශ ඉන් දශක තුනකට අධික කාලයකට පසුවත් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම අපේ සමාජ ප්‍රගමණයේ දිළිඳුකම පෙන්වන අපූරු කැඩපතකි. අද ඒ දෙපාර්ශවය සමග පෙරටුගාමීන් නමැති වඩා ෆැසිස්ට්වාදී කණ්ඩායමද එක්ව සිටී. එදා මෙන්ම අදත් පවසන ප්‍රධාන ව්‍යාජ තර්කයක් වන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වී සිටින සිසුන් අදාල සුදුසුකම් සපුරා නොමැති බවයි. ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලුවීමේ මූලික සුදුසුකම වන්නේ සාමාන්‍ය සාමාර්ථ 3 ක් ලබා ගැනීමයි. (පැරණි විභාග ක්‍රමය අනුව සාමාන්‍ය සාමාර්ථ 4 කි) එනම් අපොස උසස් පෙල විභාගය සමත් වීමයි. කඩ ඉම් ලකුණු තීරණය එන්නේ ඉල්ලුම සහ පිරවිය හැකි පුරප්පාඩු ප්‍රමාණය අනුව ය. රජයේ වෛද්‍ය විද්‍යාල වලට මෙන්ම මාලාබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමේ මූලික සුදුසුකම වන්නේද සාමාන්‍ය සාමාර්ථ 3 යි. මාලාබේ වෛද්‍ය විද්‍යාලයට සාමාන්‍ය සාමාර්ථ තුනක් නොමැති කිසිවෙකු ඇතුලත් කරගෙන නොමැති බැවින් (එහි ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට ඊට වඩා ඉහළ උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම් ඇත) මෙම තර්කය බිඳ වැටේ. ඉහලම විභාග ප්‍රතිඵල ලබා ගෙනත් රජයේ වෛද්‍ය පීඨ වලට සිසුන්ට ඇතුලත් විය නොහැකි තත්ත්වයක් යටතේ මාලාබේ වෛද්‍ය සිසුන් අඩු විභාග ප්‍රතිඵල වලින් ඇතුලත් වන බව තවත් අවලාදයකි. පළමුව කිව යුත්තේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට අදාල ලකුණු ප්‍රමාණවත් නොමැති නම් දන්ත, පශු, කෘෂිකර්ම, ජීව විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර වලට දොරටු විවෘතව පවතින බවයි. දෙවනුව මෙම අවලාදය නගන පාර්ශව සටන් කළ යුත්තේ රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් කර ගන්නා සංඛ්‍යාව ඉහළ දමන ලෙස මිස මාලබේ සිසුන්ට පවතින අවස්ථා අහෝසි කිරීමට නොවේ. මාලාබේ සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා මූලික අයිතිවාසිකමක් පවතින අතර එය අහෝසි කිරීමට උද්ඝෝෂනය කිරීම කුහක අවස්ථාවාදී නරුම ප්‍රතිපත්තියකි. 

මාලබේ සිසුවාට වඩා රජයේ සිසුවාට වැය වේ

පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීම මගින් ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ වන්නේ ය යන්න පසුගිය දශක 3 කට අධික කාලයක් පුරා ස්ථාපිත කර තිබෙන තවත් මිත්‍යාවකි. නිදහස ලැබූ දා සිට බලයට පත් වූ රජයන් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගියා මිස එය විනාශ කර නැත. වාමංශිකයන් විසින් මෙරට බිහිවූ අන්ත දක්ෂිණාංශික පාලකයා වශයෙන් සලකන ජේ.ආර්.ජයවර්ධන 1977 දී බලයට එන විට වාර්ෂිකව මෙරට රජයේ වෛද්‍ය පීඨයන් සඳහා බඳවා ගත්තේ සිසුන් 240 ක් වැනි සොච්චමකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට අවසර දෙන ජයවර්ධන රජයට නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට අවශ්‍ය වූයේ නම් වෛද්‍ය පාඨමාලා සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමට කටයුතු සම්පාදනය කළ හැකිව තිබිණි. එහෙත් ජයවර්ධන රජය යාපනය සහ රුහුණු විශ්ව විද්‍යාලයන්හි රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් නව වෛද්‍ය පීඨ දෙකක් ස්ථාපනය කළ අතර අසුවේ දශකය ආරම්භක අවධිය වන විට රජයේ වෛද්‍ය පීඨයන් සඳහා බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දමා තිබිණි. වෛද්‍ය ඇතුළු සෑම පීඨයකම බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව එදා සිට අද දක්වා වර්ධනය වූවා මිස අඩු වී නොමැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වාර්තාවන්ට අනුව රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනුවෙන්  රජය වසරකට වියදම් කරන මුදල වසරින් වසර ඉහල ගොස් ඇත. වසර 2008 දී එක් වෛද්‍ය සිසුවෙකු වෙනුවෙන් රජය වියදම් කළ මුදල රුපියල් 8,69,000 කි. එය වසර 2009 දී රුපියල් 9,35,000 ක් දක්වාත්, වසර 2010 දී රුපියල් 10,20,000 ක් දක්වාත් ඉහල ගියේ ය. 2015 දී වසරක ප්‍රක්ෂේපිත වියදම රුපියල් 15,00,000 කට අධිකය. රජයේ වෛද්‍ය පීඨ සිසුවෙකු සඳහා රජය වසරකට රුපියල් මිලියන 1.5 කට අධික මුදලක් වියදම් කරන විට මාලාබේ පෞද්ගලික වෛද්‍ය සිසුවෙකු වසරකට වැය කරන්නේ රුපියල් මිලියන 1 ක් පමණි. වැඩි මුදලක් වියදම් කරමින් අධ්‍යාපනය ලබන්නේ රජයේ වෛද්‍ය සිසුන් බව පැහැදිලිය. සමස්ථ රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපන වැය ශීර්ෂයේ වැඩිම මුදලක් වෙන් කරන්නේ වෛද්‍ය සිසුන් සඳහාය. වසර 2010 සමස්ථ වියදම වූ රුපියල් බිලියන 7.182 න් සියයට 17 ක් වෙන්වූයේ වෛද්‍ය පීඨ සඳහා ය. මෙවැනි වාතාවරණයක නිදහස් අධ්‍යාපනය විනාශ වන්නේ යැයි ජවිපෙ සහ පෙරටුගාමී ශිෂ්‍ය දේශපාලන අපතයන් හඬ නගන්නේ ඔවුන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර සඳහා අහිංසක සරසවි සිසුන් ගාල් කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණි.

වෛද්‍යවරුන් නමැති බ්‍රාහ්මණයෝ

මෙම දේශපාලන අපතයන්ට අමතරව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරෙන කල්ලිය වී ඇත්තේ පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. මාලාබේ වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට ඔව්හු දීප ව්‍යාප්ත වර්ජන මෙහෙයවන බවට දැන් තර්ජනය කරති. මොවුන්ගේ නිදහස් අධ්‍යාපනය යනු වෛද්‍ය සිසුන්ට නොමිලේ අධ්‍යාපනය දීම පමණක්ය. සබරගමුව සරසවියේ සම සෞඛ්‍ය සිසුන්ගේ වසර හතරේ උපාධි පාඨමාලාවට ඔව්හු මාරාන්තික විරෝධයක් දැක්වූහ. එම සිසුන්ට තම අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් මාස ගණනක අඛණ්ඩ උපවාසයක නිරත වීමට සිදුවූයේ රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය නමැති ගෝත්‍රික නරුමයන් පිරිසට එරෙහිව ය. මෙම කාලකන්නි නඩය එම සිසුන්ට අධ්‍යාපනය ලබා දීම පවා ප්‍රතික්ෂේප කළහ. මේ ආකාරයටම හෙදියන් සහ සහකාර වෛද්‍යවරුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමේ රජයේ උත්සාහයන් සියල්ලටම මෙම නරුම ගෝත්‍රිකයෝ පිරිස ලක්ෂ ගණන් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජනය කළ අන්දම රටට රහසක් නොවේ. සත්‍ය වශයෙන්ම වෛද්‍යවරුන්ට වර්ජනය කළ හැකි රටවල් ඇත්තේ 10 න් පහළ ගණනකි. අනෙක් කිසිදු රටක වෛද්‍යවරුන්ට හමුදා නිලධාරීන්ට මෙන් වර්ජනය කිරීමේ අයිතියක් නැත. මෙම කාලකන්නි නඩයේ තක්සේරුව අනුව නිදහස් අධ්‍යාපනය හිමිවිය යුත්තේ වෛද්‍ය සිසුන් පමණි. අනෙක් සියළු පාර්ශව වෛද්‍යවරුන් නමැති බ්‍රාහ්මණයන්ගේ අත පල්ලෙන් වැටුනු හීන කුලයේ නොසලකා හැරිය යුතු කණ්ඩායම් ය.
පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයෝ වෛද්‍ය විද්‍යාලයේ සායනික ප්‍රමිතිය පිලිබඳ නිරන්තරයෙන් ප්‍රශ්න කරති. එහෙත් රජයේ රෝහල් වල සායනික අවස්ථාවන් ලබා දෙන ලෙසට මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලනයෙන් සිදුකරන ඉල්ලීම් වලට ද ඔව්හු එක හෙලාම විරුද්ධ වෙති. මෙය ඉතාමත් පැහැදිලි කුහක කමකි. මුදල් ගෙවා හෝ රජයේ රෝහල් වල සායනික අවස්ථා ලබා දීම වළක්වන ඔව්හු අනෙක් පාර්ශවයෙන් මාලාබේ සිසුන්ගේ සායනික දැනුම පහළ බවට චෝදනා කරති. මාලාබේ සිසුන්ට සායනික අවස්ථා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දුන් තීන්දුව පවා ක්‍රියාත්මක කිරීමට මේ නරුමයෝ ඉඩ නොදෙති.
රජයේ රෝහල් සමස්ථ ජනතාවගේ බදු මුදල් මගින් නඩත්තු වන බැවින් මාලබේ සිසුන්ට ද රජයේ රෝහල් හි සායනික පුහුණුව ලැබීමේ මූලික අයිතිවාසිකමක් ඇත.
රජයේ රෝහල් පද්ධතිය මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය සිසුන්ගේ බදු මුදල් වලින් පමණක් නඩත්තු වන්නේ නම් ඔවුන්ට කොන්දේසි පැනවිය හැකිය. නමුත් ඒ එසේ නොවේ. ( ලංකාවේ සිටින අංක එකේ බදු වංචාකරුවන් වන්නේ ද වෛද්‍ය වරුන් ය. චැනල් සේවා හරහා එක් දිනකට ලක්ෂ ගණනින් මුදල් ඉපැයුවද රජයට සත පහක බදු මුදලක් ඔව්හු නොගෙවති)

කනින් ඉතිරෙන වෛද්‍ය වරුන්ගේ “දේශප්‍රේමය“

මාලාබේ වෛද්‍ය සිසුන්ට එරෙහිව ඉදිරිපත් කරන තවත් ප්‍රධාන අවලාදයක් වන්නේ මාලාබේ සිසුන් මෙන් නොව රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සිසුන් “දේශප්‍රේමීන්“ බවත් ඔවුන් පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් කැපවී සිටින බවත්ය. මෙම “දේශප්‍රේමීන්“ ගෙන් අති බහුතරය වෛද්‍ය පීඨයන්ට ප්‍රවේශ වන්නේ ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, සහ ඇමරිකාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙනි. වසර 2013 සැප්තැම්බරයේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 374 ක නියැදියක් ආශ්‍රිතව කරන ලද පර්යේෂනයකින් මේ බව තහවුරු වී තිබේ.
ලක්ෂිත ද සිල්වා, කේෂානි සමරසේකර ඇතුළු පිරිසක් මෙම පර්යේෂනය සිදුකළ අතර ඔවුන්ගේ පර්යෝෂන පත්‍රිකාව ‘වෛද්‍ය බුද්ධිගලනය‘ නමින් වසර 2014 දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරිණ.
මෙරට රජයේ වෛද්‍ය පීඨයක සිසුවෙකුට මූලික එම්.බී.බී.එස්. උපාධියක් ලබා ගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 75 ක් පමණ වැය කරයි. ඒ මෙරට පොදු ජනතාවගේ බදු මුදල් ය. එසේ මූලික වෛද්‍ය උපාධිය ලබා ගන්නා “දේශප්‍රේමීන්“ ගෙන් 56% ක් විදේශ රටවලට සංක්‍රමණය වීමට තීරණය කරන බව එකී පර්යේෂන පත්‍රිකාවේ දැක්වේ. ඒ අතරින් 23.8% ක් විදේශ ගත වීමට ශපථ කරති. විදේශ ගත වීමට තීරණය කර තිබෙන සිසුන් අතරින් 68% කගේ අරමුණ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමයි. තවත් 48% කට අවශ්‍ය වන්නේ වඩාත් ඉහළ ආදායමක් ලබා ගැනීමයි. මෙරට පොදු ජනතාවගේ මුදලින් මූලික එම්.බී.බී.එස්. උපාධිය ගෙන එම ජනතාවම ප්‍රාණ ඇපයට ගනිමින් වාහන බලපත්‍ර ලබා ගැනීමට මෙන්ම හෙදියන් සහකාර වෛද්‍යවරුන්, සම සෞඛ්‍ය සිසුන් ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ වෘත්තීය සහ අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමට වැඩ වර්ජනය කරන “දේශප්‍රේමීන්ට“ වඩා මාලාබේ සිසුන් ප්‍රගතිශීලීය.
ඔව්හු විදේශ රටවලට නොගොස් ජනතාවට බරක් නොවී තමන්ගේ මුදලින් අධ්‍යාපනය ලබති. ඔවුන් මෙරට වෛද්‍ය වෘත්තීයේ නිරත වීමට තීරණය කළ හොත් එහි වාසියද හිමිවන්නේ මෙරට පොදු ජනතාවට ය.
ජවිපෙ, පෙරටුගාමී ශිෂ්‍ය දේශපාලන අපතයන් මෙන්ම මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාලාබේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වූවද වාර්ෂිකව මෙරට සිසුන් 300 ක් පමණ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනුමත කළ විදේශ වෛද්‍ය විද්‍යාල 232 ක ඉගෙනුම සඳහා විදේශ ගත වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වාර්තාවන්හි දැක්වේ.
එම වාර්තාවේ එක් සිසුවෙක් වාර්ෂිකව සිය අධ්‍යාපනය සහ අනෙකුත් වියදම් සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක් වැය කරන බවට තක්සේරු කර ඇති අතර වාර්ෂිකව එම සිසුන් විදේශ රටවලට වියදම් කරන මුදල රුපියල් මිලියන 1600 කි. නිසි නියාමනයකින් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අපට බිහි කිරීමට හැකිනම් මෙම විදේශ විනිමය රටතුළ ඉතිරි කර ගත හැකි වන අතර විදේශ සිසුන් ආකර්ශනය කර ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට මාරාන්තික ලෙස විරුද්ධ වන දේශපාලන අපතයන් සහ මාරපුත්‍රයන් මෙරට සිසුවෙකුට විදේශ ගත නොවී අඩු මුදලකට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙන්ම රටට මූල්‍ය උත්පාදක මාර්ගයක් අවහිර කර ඇත. අනෙක් පසින් බුද්ධි ගලනයට දොර විවෘත කරයි.

වම් අත වෙනුවට දකුණු අත කපන ප්‍රමිතිය

අපොස උසස් පෙළ යනු එක් විභාගයක් මිස මිනිසෙකුගේ ජීවිතයත් මරණයත් තීරණය කරන කඩ ඉමක් නොවිය යුතුය. වෛද්‍ය, ඉංජිනේරු තොරතුරු තාක්ෂණය හෝ ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් ඕනෑම වයසකදී උපාධියක් ලබා ගැනීමට හැකි අයුරින් දැනට “ බමුණු කුලයකට“ සීමා වී තිබෙන මෙරට උසස් අධ්‍යාපනයේ දොරවල් පොදු ජනතාවට විවෘත විය යුතුය. උදාහරණයකට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව ඇතුළු රටවල් 19 ක වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රවේශ විභාග වන The Medical College Admission Test (MCAT) ගත හැකිය. මූලික උපාධියක් හදාරන ඕනෑම සිසුවෙකුට MCAT විභාගයට ඉදිරිපත් විය හැකි අතර වසරකට 25 වතාවකට වැඩි වතාවක් මෙම විභාගය ඇමරිකානු වෛද්‍ය විද්‍යාල ආයතනය විසින් පවත්වනු ද ලැබේ. විද්‍යා විෂයන්ට අමතරව කලා, වානිජ, ඉතිහාසය, සාහිත්‍යය ඇතුළු ඕනෑම විෂය ක්ෂේත්‍රයක් හදාරන සිසුන්ට MCAT  විභාගයට ඉල්ලුම් කළ හැකිය. මෙම විභාගයේදී මූලික වශයෙන් භෞතික විද්‍යාවත්, ජීව විද්‍යාවත් සහ භාෂා නිපුනතාවය පරීක්ෂා කරනු ලැබේ. MCAT විභාගයේ ලකුණු සහ මූලික උපාධියේ ලකුණු සාමාන්‍ය පදනම් කර ගනිමින් වෛද්‍ය විද්‍යාලයන්ට ඉල්ලුම් කළ හැකිය. ඉහලම ලකුණු ලබා ගන්නා සිසුන්ට ඇතැම්විට සම්පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්වයක් ලබා ගත හැකි අතර බහුතරය බැංකු ණය ලබාගෙන වෛද්‍ය විද්‍යාලයන්ට ඇතුළු වෙති. වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් තමන්ට ගෙවීමට සිදුවන අධික මිල ගැන දන්නා මෙම සිසුන් ලංකාවේ මෙන් දේශන, සායන, වර්ජනය කරමින් පාරවල් පුරා සතිපතා පිස්සු නටන්නේ නැත.
වසර 5 ක් පුරා දුක් විඳ ලබා ගන්නා වෛද්‍ය උපාධියෙන් පසුවද වසර දෙකකට වරක්, සිය වෛද්‍ය ලියා පදිංචිය අලුත් කරවා ගැනීමට බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපයේ මෙන්ම උතුරු ඇමරිකානු රටවල සේවය කරන වෛද්‍යවරුන්ට සිදුවෙයි. නව වෛද්‍ය විද්‍යා දැනුම උකහා ගැනීම සහතික කිරීම සඳහා වසර දෙකකට වරක් විභාගයකට පෙනී සිට සිය වෛද්‍ය ලියා පදිංචිය අලුත් කරවා ගත යුතුය. එහෙත් ලංකාවේ මූලික එම්.බී.බී.එස්. උපාධිය ලබාගෙන වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ දැනුම යලි කිසිදු දිනෙක පරීක්ෂා කරන්නේ නැත. රෝගීන්ගේ වම් අත වෙනුවට දකුණු අත කපා දමා කිසි දෙයක් නොවුනා සේ පසු දිනයේත් රෝගීන්ට ප්‍රතිකාර කළ හැක්කේ ලංකාවේ පමණි. ඒ රජයේ වෛද්‍ය පීඨ උපාධිධාරීන්ගේ ඉහළ ප්‍රමිතියයි.

පම්පෝරි ප්‍රමිතියේ තරම පෙන්වන රේටිං

පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය බිඳ වැටෙන බව ‘නිදහස් අධ්‍යාපනයේ‘ මුර දේවාතාවුන් වශයෙන් පෙනී සිටින ජවිපෙ, පෙරටුගාමී දේශපාලන අපතයන් නිරන්තරයෙන් කියා සිටින කරුණකි. එහෙත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසානය. වසර 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලය වශයෙන් හඳුන්වන කොළඹ විශ්ව විද්‍යාලයට හිමි වී ඇත්තේ 2135 වෙනි ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2466 වැනි ස්ථානයේද, මොරටුව විශ්ව විද්‍යාලය 2608 වැනි ස්ථානයේද ශ්‍රේණිගතව පවතී.  අනෙකුත් විශ්ව විද්‍යාල ගැන කතා කිරීම අනවශ්‍යය. 
ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු විශ්ව විද්‍යාල 150 අතරේ හෝ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හෝ නැත. දකුණු ආසියානු කලාපයේ තත්ත්වයද ඊට වෙනස් නොවේ. වසර 2015 දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි කොළඹ විශ්ව විද්‍යාලය ස්ථානගත වී ඇත්තේ 41 වෙනි ස්ථානයේ ය. පේරාදෙනියට හිමි වී ඇත්තේ 58 වෙනි තැනය. දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 23 ඉන්දියානු විශ්ව විද්‍යාල වන අතර 24 වෙනි තැන සිටින්නේ පංජාබ් විශ්ව විද්‍යාලයයි. බංගලා දේශයේ ඉංජිනේරු හා තාක්ෂන විශ්ව විද්‍යාලය 35 වෙනි ස්ථානයේ සිටී. මෙම දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීමට අනුව පළමු විශ්ව විද්‍යාල සියය අතර ඇත්තේ ලංකාවේ විශ්ව විද්‍යාල 4 ක් පමණි. ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල සැබෑ ස්වරූපය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් මනාව පැහැදිලි වෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරනවාට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් අපට මේ මොහොතේ අවශ්‍ය බව ඉන් පෙනී යයි.
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සුදු අලියෙකි. අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොකර මෙම සුදු අලියා නඩත්තු කිරීමට ජාතික ආදායමින් 6% ක් වෙන් කිරීම හෙණ ගහන අපරාධයකි. 
ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරින් අංක 1 ට සිටින්නේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයි. එය සිංගප්පූරුවේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාලය වන අතර එම විශ්ව විද්‍යාලය නඩත්තු කිරීමට එරට පෞද්ගලික විශ්ව විද්‍යාල සිය ලාභාංශයන්ගෙන් 10% ක් වාර්ෂිකව ලබා දිය යුතුය. මෙම විශ්ව විද්‍යාලය 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ තිබීම විශ්මය ජනකය. 13 වන ස්ථානයේ ශ්‍රේණිගතව ඇත්තේ ද තවත් සිංගප්පූරු විශ්ව විද්‍යාලයක් වන නැංග්යන් තාක්ෂනික විශ්ව විද්‍යාලයයි. (NTU) එයද මහජන මුදලින් නඩත්තු වන ස්වාධීන විශ්ව විද්‍යාලයකි. ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 10 අතරේ පවතින ජපාන, දකුණු කොරියා, හොං කොං, චීන, සිංගප්පුරු, විශ්ව විද්‍යාල සියල්ල ස්වාධීන රාජ්‍ය විශ්ව විද්‍යාලයි. එම රටවල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා බහුතරයක් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ය. බහුතර පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල බිඳ වැටී නොමැති අතර ඒවා ලෝකයේ මෙන්ම ආසියාවේ විශිෂ්ඨ විශ්ව විද්‍යාල වශයෙන් බබලයි.
පෞද්ගලික විශ්ව විද්‍යාල යනු මරාක්ෂයන් නොවේ. සෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයක්ම ලාබ ලබා ගැනීමෙ අරමුණින් යුතුව පවත්වාගෙන යනවාද නොවේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපයේ ලාබ ලබා ගැනීමේ අරමුණින් තොර (උතුරු කොළඹ වෛද්‍ය පීඨය මෙන්) පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්‍රමුඛ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විද්‍යාල තවත් ක්‍රමයකි. රජයේ ආධාර ලබන අර්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල වර්ගයකි. ලංකාවේ පොලිතීන් මුදලාලිලා පෞද්ගලික රෝහල් ආරම්භ කළා සේ ඕනෑම මස් කඩ කාරයෙකුට, කැසිනෝ කාරයෙකුට ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නැත. ඒ සඳහා නිශ්චිත ප්‍රාග්ධනයක් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ පරිචයක් තිබිය යුතුය. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් තිබිය නොහැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුත්තේ එවැනි නියාමනය පදනමකිනි.
වැඩි සිසුන් පිරිසකට අඩු මුදලකට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව බුද්ධි ගලනය අඩු කිරීම සහ පොදු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම සඳහා මාලාබේ වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ගණනාවක් රටතුළ ස්ථාපිත කළ යුතුය. අනෙක් පසින් දැනට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කර එහි ප්‍රමිතිය ඉහළ දමමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අද අප හමුවේ ඇති දැවැන්ත අභියෝගයකි. මෙම ක්‍රියාදාමයන් දෙක එකිනෙක සමාන්තරව ක්‍රියාත්මක කිරීම අද දවසේ අප හමුවේ ඇති ප්‍රගතිශීලී කාර්ය භාරයයි.

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.29, පෙ.ව‍‍‍‍‍‍.11.00)
ආනුභාවනන්ද විසිනි

anubhawananda1@gmail.com

No comments:

Post a Comment