Thursday, May 11, 2017

GMOA වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කරමි -GMOA හිටපු උප සභාපති



GMOA වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කරමි:
දොස්තරවරුන්ට තිබූ මහජන ගරුත්වය නැති වුනා:
GMOA හිටපු උප සභාපති වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා
වෛද්‍ය පාදෙණියට ලියන ලද අවවාදාත්මක ලිපියෙහි අවසාන කොටස.

සයිටම් සිදුවීම අරභයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භූමිකාව විමසීමට මම අපේක්ෂා කරමි. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ සයිටම් පවත්වාගෙන යෑමට තමන් තුල ඇති විරෝධය සංගමය ප්‍රකාශ කර තිබේ. එසේ වුවත් එකී අරමුණු ඉටු කර ගැනීම සඳහා පුන පුනා වර්ජන ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ යැයි මට නොදැනේ. ඒ හේතුවෙන් පොදු මහ ජනතාවට විඳින්නට සිදුවන දුෂ්කරතාවය සැබැවින්ම කණගාටුදායක ය. මෙවැනි වර්ජන සමාජයට එරෙහි අපරාධ ලෙස නම් කිරීමට මම පසුබට නොවෙමි.

අතීතයේ බරපතල වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළැඹීමේ දී අප වෙත නිශ්චිත මාර්ගෝපදේශ තිබූ බව ඔබට මතක ඇතැයි මම සිතමි. වැටුප් සම්බන්ධ කරුණු සහ වඩාත් පුද්ගලික ස්වභාවයේ කරුණු වෙනුවෙන් වර්ජන ක්‍රියාමාර්ග නොගත යුතු බවට පොදු පිළිගැනීමක් අප සතුව තිබිණි. අපගේ දරුවන් හට හොඳ පාසැල් ඉල්ලමින් වර්ජනය කිරීම ඒ අනුව ඇදහිය නොහැක්කකි.

සෞඛ්‍ය සේවය දේශපාලන මැදිහත් වීම් වලින් මුදවා ගැනීමේ පරමාර්ථයෙන් අවිධිමත් ස්ථාන මාරු සහ පත් කිරීම් වලට එරෙහි විරෝධයක් ලෙස වර්ජනය කරන ලද්දේ ඒ සඳහා වූ අවසන් පියවර ලෙස සලකා ගෙන ය. එම ඉලක්ක ඉතා සාර්ථක ලෙස අපි ඉහලින්ම ජයග්‍රහණය කෙළෙමු. අපගේ සාමාජිකයෙකුගේ රාජකාරි කටයුතු වලට කිසිවෙකු විසින් බාධා කළ විටෙක එම බාධා කළ තැනැත්තන් අත් අඩංගුවට ගැනීමෙන් පොලිසිය වැලකී සිටි අවස්ථා වලදී අප ප්‍රාදේශීය මට්ටමින් වර්ජන ක්‍රියාමාර්ග ගෙන තිබේ. එවැනි නොවැලැක්විය හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග සාධාරණීකරණය කළ හැකි බව මගේ වැටහීමයි.

කිසිදු හේතුවක් මත වෙනත් වෘත්තීය සංගම් වල සහාය අප ලබා ගත යුතු නැති බව පොදු එකඟතාවයක් අප අතර තිබිණි. ඒ එවැනි තත්ත්වයක දී ඔවුන්ගේ අරගල වලට එක්වීමේ බැඳීමක් අපට ඇති විය හැකි බැවිනි. මෙවැනි අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුව අපගේ සේවාව වන රෝගීන් සුවපත් කිරීම සෙසු අයගේ ක්‍රියාකාරී ක්ෂේත්‍ර සමග පටලවා ගැනීම හෝ කේවල් කිරීම කළ නොහැක්කක් වන නිසා ය.

දැන් සිදු වන දේ මුළුමනින්ම පිළිගත නොහැකිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහා වැඩ වර්ජනයක් ප්‍රසිද්ධියේ කැඳවීම වැරදි ප්‍රවණතාවකි. ‘ඉක්ටා‘ වැනි සාමාන්‍ය දේශපාලන කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරු වර්ජනය කිරීම ද පිළිගත නොහැක්කකි. ඉතිහාසයේ පළමු වතාවට ඔබ දේශපාලන පක්ෂ නායකයෙකු හට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඇමැතීමට ඉඩ ලබා දුන්නේය. මා ඔබට මේ වන විටත් පුද්ගලිකව පෙන්වා දුන් පරිදි එවැන්නක් කිසි දිනෙක නොවිය යුතුව තිබූ දෙයකි.

මේ සියල්ලේ පොදු ප්‍රතිඵලය වී ඇත්තේ පොදු ජනතාවගේ දෑස් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය අංශයේ වෙනත් පීඩාකාරී වෘත්තීය සංගමයකට සමාන වීම ය. පොදුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය වෘත්තීය කෙරෙහි වූ ජනතාවගේ ගෞරවය නැතිව ගොස් තිබේ. ඔබේ ක්‍රියාකාරකම් දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ වඩා පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ලෙස බොහෝ දෙනා සැක කිරීම වැළැක්විය හැක්කක් නොවේ.

මා දන්නා පරිදි සෞඛ්‍ය සේවය තුල ඔබ ඉතා සැලකිලිමත් ළමා ස්නායුවේද වෛද්‍යවරයෙකු මෙන්ම වෛද්‍ය විද්‍යා ගුරුවරයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි. සෙසු සේවාවන්ට සාපේක්ෂව වෛද්‍ය සේවයේ සාමාජිකයන් හට වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ අත්කර දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඔබට ගෞරවයක් තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ වෛද්‍යවරුන් අතර වඩාත් උසස් වෘත්තීය ප්‍රමිතීන් ඇතිකරනු පිණිස පොත පත ප්‍රකාශයට පත් කිරීම සහ වැඩමුළු පැවැත්වීම වැනි කටයුතු කිරීම සමාජයේ බොහෝ දෙනා නොදන්නා කරුණු ය.

එසේ නමුත් මා විශ්වාස කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ සේවය කර ඇති කාලය බොහෝ වැඩි බවය. අලුතින් සිතීමෙහි ලා ඔබ දැන් දුර්වල ය. ‘බලය‘ හේතුවෙන් සාමාජිකත්වයේ පොදු හැඟීම් නොසලකන තත්ත්වයට ඔබ පෙළැඹී සිටී. මා සිතන පරිදි දේශපාලන ක්ෂේත්‍රයේ දී පවා කිසිවෙකු කොතරම් යහපත් අයෙකු වුවත් වාර දෙකකට වඩා වැඩි වාර ගණනක් බලයේ සිටීමට ඉඩ දිය යුතු නැත.

ඔබ දරණ තනතුරේ මෙම වාරය අවසන් වෙද්දී ඉන් ඉවත්ව යාමට ඔබ දැන් සැලසුම් කළ යුතු ය. ඔබේ මුළු කාලයම සායනික කටයුතු වෙනුවෙන් කැප කරන්නේ නම් ඔබට මෙම සමාජය වෙත වඩාත් වැඩි මෙහෙවරක් ඉටු කළ හැකිය. ඒ සියල්ලටමත් වඩා ළමා ස්නායු වේදය යනු සාපේක්ෂ වශයෙන් වඩා නවීන ක්ෂේත්‍රයකි. එහි දියුණුවට ඔබ වැනි ශක්ති සම්පන්න නිර්මාණාත්මක සහ නායකත්ව ගුණාංග වලින් යුත් පුද්ගලයන් අවශ්‍යය.

මා අවංකව අපේක්ෂා කරන්නේ මගේ මෙම අවවාද යහපත් සිතින් ඔබ පිළිගනු ඇති බවයි.
ස්තූතියි
ඔබේ අවංක,
වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා.
( ඉංග්‍රීසි මුල් ලිපිය සහ ලිපියෙහි මුල් කොටසද සහිත
සම්පූර්ණ සිංහල පරිවර්තනය ලංකා ඊ නිව්ස් ප්‍රසිද්ධ කර ඇත)

Monday, May 8, 2017

ප්‍රශ්න 3ක් - වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හිරු ටීවී "සලකුණ"


සරල බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න 3ක්.

2017 05 09 රාත්‍රී 10ට
හිරු ටීවී "සලකුණ" වැඩ සටහන
ඔබත් නරඹන්නට ඇති.

සාවධානව නැරඹුවා නම්
ඔබේ බුද්ධි මට්ටමට අනුව
ඔබ මේ ගැටළු වලට දෙන
සරල පිළිතුරු මොනවාද?

1
සයිටම් විරෝධී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
කොතලාවල වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ නොවන්නේ ඇයි.?

2
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට
පක්ෂද විපක්ෂද?

3
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය සහිත
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කළොත්
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය එකඟ වෙනවාද?

ඔබ "සලකුණ" නැරඹුවේ නැත්නම්
http://www.hirutv.lk/salakuna මගින් නරඹා
ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

Monday, May 1, 2017

වැටි වැටි නැගිටින රජරට වෛද්‍ය පීඨයේ යථාර්ථය...


Thursday, July 1, 2010

     පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා රාජ්‍ය වෛද්‍ය පීඨ අතර තරගයක් ඇති කිරීම තුළින් රාජ්‍ය වෛද්‍ය පීඨ ගුණාත්මකව ඉහළ තලයකට ගෙන යා හැකි බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් මත වාද නිර්මාණය කරන්නන්ගේ මන්දබුද්ධික තර්කයකි. පහත පළ වන්නේ රජරට වෛද්‍ය පීඨයේ සැබෑ ස්වරූපයයි. එමගින් ඒ කුලී මතවාදීන්ගේ අරමුණ කුමක්දැයි තීරණය කිරීම පාඨක ඔබට බාර කරමු.

     වෛද්‍ය වරයකු යනු කායික මානසික සමාජයිය යන තුන් ආකාරයෙන්ම රෝගි වූ මිනිසුන් සුවපත් කරන මහත් වූ විචක්ෂණ ගති වලින් යුතු ක්‍රමවත් මිනිසෙක් බව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. කුඩා ළමයකුගේ සිට මහල්ලා දක්වා වෛද්‍යවරයා දෙස මහත්වු ගරුත්වයෙන් බලනුයේ ඒ උදාරගති නිසාවෙන්යැයි සැකයක් නැත. කුඩා කල සිටම අනාගතය ගැන පෙරුම්පුරන සෑම සිඟිත්තෙකුම ලොකුමහත් වන තුරුම ඇලුම්කරනුයේ වෛද්‍යවරයකු වීමේ ගමන වෙතටය. රජරට වෙද පාසලේ වෙද දරු දැරියන්ද ඔවුන්ගෙන් කොටසකි. අ.පො.ස උ/පෙළ සාර්ථක මාර්ගයක ගමන් කල ඔවුන් වෛද්‍යපීඨයකට වරම්ලැබු දින ඔවුන්ගේ පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් ගේ හදවත්වලද මල් පිපුනේය. එහෙත් වෛද්‍ය පිඨය ලෙස රජරට නම් ඇසුකල්හි අප සැම හදවත් සලිත වුයේ අපගේ අනාගත සිහිනය බොද වි යාවිදැයි ඇතිවු චකිතය නිසාවෙන්ය.

     2005 වසරේ අ.පො.ස උ/පෙළ විභාගය ප්‍රශ්නපත්‍ර ඇගයීම් කිරීමේදි අනුර එදිරිසිංහ නම්වු විභාග කොමසාරිස්තුමාගේ වැරුද්දේ පාපකර්මය සුවහසක් අහිංසක සිසුවන්ගේ මතින් ලුහුබැන්දේ ඔවුන් කිසිවක් නොදැනය. දැනට පවතින රජය විසින් බලධාරින්ගේ වරදට එම ළමයින් හට දඩුවම් කලේ තම හෘද සාක්‍ෂිය තමාම ලැජ්ජාවට පත්කරමිනි. එහි ප්‍රථිපලයක් ලෙස සිසුන් 171 ක් සමගින් රජරට වෛද්‍ය පීඨය ඇරඹුයේ හතුපිපෙන සේ ඇතිවන ටියුෂන් පංතියක් මෙනි. මන්ද එය ආරම්භයේ කණිෂ්ඨ පාසලක තිබියයුතුයි සිතන තරම්වත් පහසුකම් නොතිබීම නිසාය. යොවුන් සේනාංකයක් එකවරම වෛද්‍ය පිඨයක් බවට පත්වූ හෙයින් මෝඩ බලධාරින් සිතන්නට ඇත්තේ යොවුන් සේනාංකයක භෞතික හා මානව සම්පත් වෛද්‍ය පීඨයකට ගැලපෙන බව නොවේද?.

     පලමු ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ උත්සවයක් සංවිධානය කර බොහෝ බලාපොරොත්තු පොදියක් ලබාදි ඔවුන් පැවසුවේ සිසුන් යොදනුයේ දිව්‍ය ලෝකයක ඇති වෛද්‍ය පීඨයකට හා සමාන ස්ථානයකට බවයි. සිසුන් මහත් වූ තුටින් පැමිනියත් පැමින දින දෙකක් යන්නටත් මත්තෙන් වැටහී ගිය කරුණක් වූයේ එය ළදරු පාසලක් බවය.

     විශ්ව විද්‍යාලයක් යනු කුමක්දැයි වත් නොදන්නා ශිෂ්‍යයන් හට සිදුවූයේ පාලකයින්ගේ කෲර කමට වහන් වි සිටිම මිස කිසිදු හවුහරණක් සෙවීමට නොවේ. මන්ද රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා සිට අනධ්‍යයන සේවකයන්ද සිසුන් යටකර තැබිමට උත්සාහ කළ හෙයිනි. නමුත් පාලකයන්ගේ අවාසනාවට රජරට වෛද්‍ය පීඨයේ පලමු ශිෂ්‍ය කණ්ඩායම ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් ශිෂ්‍ය කණ්ඩායමක් වූයේ පැහැබර අනාගතයකට සවිමත් අඩිතාලමක් ඉදිකරමිනි.

     ආරම්භයේ සිට සය මාසික අසම්පූර්ණ අධ්‍යනික පාඨමාලාවන් නොයෙකුත් අභියෝගතා මැද නිමා වූයේ අනාගතය ගැන පරිපාලනයටවත් කර කියාගත නොහැකි තත්වයකට පත්කරමිනි. මා එසේ අසම්පූර්ණ යැයි සලකන ලද්දේ කිසිදු ප්‍රයෝගික පරීක්‍ෂණයක් හෝ කායව්‍යවච්ඡේද විද්‍යාව සදහා මෘත දේහයක් හෝ නොතිබූ හෙයිනි.

     මෙම කාල සිමාව තුල සිසුන් විසින් ඔවුන්ගේ අපැහැදිලි ගමන පිළිබඳ නොයෙකුත්වර පීඨාධිපති තුමිය ගෙන් විමසුවත් එයට ලැබුන පිළිතුර වූයේ සිසුන්ට දඩුවම් ලබාදීමකි. ඉන් අනතුරුව දින නියමයක් නොමැතිව වැසුන මේ අම්බලම පිළිබඳව මනා වැටහීමක් සිසුන් විසින් ලබාගන්නා ලදි. විරෝදාර සිසුන් කැලකගේ හඩ නොසැලෙන ගමනකට අවදි වූයේ මේ කාලය තුළය. අවිධිමත් පාලනය යටපත් කරමින් මුල් ශිෂ්‍ය කණ්ඩායම තම දෙමාපියන්ගේ සහයෝගයද ගනිමින් තම හඬ අවදි කළ පසු කර කියා ගැනිමට දෙයක් නොමැති වූ මෝඩ පාලකයින් ලහි ලහියේ පීඨය දෙස බලන්නට විය.

     මේ කාලය වන විට ශිෂ්‍ය උද්ඝෝෂණ, පා ගමන්, කැට ව්‍යාපාර හා දේශපාලඥයින් ඇතුලු මහ ජනතාව දැනුවත් කිරිමේ අඛණ්ඩ සංග්‍රාමයක් ඇරඹුණි. එහි ප්‍රතිඵලය මුලු පීඨයටම නවෝදයක් ලබාදීමට හේතු වුවත් අවසානයේ සිදු වුයේ සිසුන්ගේ නොදැනුවත්කම් මුල් කරගනිමින් අත්තනෝමතික පීඨාධිපතිනියක වන මහාචාර්ය මල්කාන්ත චන්ද්‍රසේකර ශිෂ්‍යයන් හට විනය ක්‍රියාමාර්ග ගැනිම හා ශිෂ්‍ය සංගම් දුර්වල කිරිමය. මෙසේ කාලය ගත වෙද්දි දෙවන ශිෂ්‍ය කණ්ඩායම පැමිණියේ පලමු ශිෂ්‍ය කණ්ඩායමට තවත් ශක්තියක් වෙමිනි. පළමු ශිෂ්‍ය කණ්ඩායමේ මාර්ගයේම දෙවන කණ්ඩායම යන බව දැනගත් පීඨාධිපති තුමිය පලමු ශිෂ්‍ය කණ්ඩායම බිඳ දැමීමට සිසුන්ගේ පංති තහනම් කළ නමුත් එය එතැනින් නොනැවතී දෙපිරිසම එකතුව මහා බලයක් ගොඩනගමින් ඔවුන් ඉදිරියේ පරිපාලනය පණ නැති ගැරඬියකු බවට පත් කළේය. මොවුන්ගේ පලමු ක්‍රියාදාමය පීඨාධිපතිනිය නෙරපීම දක්වා දික්වූයේ එයට දින 14 ක අඛණ්ඩ උපවාස ක්‍රියාදාමයක්ද එක් කරවමිනි. මෙහි අවසානය උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාල පරිපාලනය සසල කිරිමට හේතු විය.

     දෙවන කණ්ඩායමේ අධ්‍යාපන කටයුතු ආරම්භයත් සමගම නව පීඨාධිපතිනිය ලෙස මහාචාර්ය්‍ය මාලිනි උඩුපිහිල්ල පැමිනියේ සිසුන්ගේ සිත් සතුටු කරවමිනි. ඉන් පසු පූර්ව සායනික දෙවසරට අවශ්‍ය සියළු පහසුකම් ලැබුණු අතර මුල් කණ්ඩායමේ 2nd MBBS විභාගය අවසන් විය. එහෙත් ඔවුන් සමග අමනාපයෙන් පසුවූ සමහර මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් ඔවුන් හට විභාග වලදි පහර දෙන්නට පටන් ගත් අතර දැනටද එය තරමක් දුරට දක්නට ලැබෙයි. පුර්ව සායනික කටයුතු වලට සාර්ථක විසදුමක් ලැබුනද සායනික කටයුතු වලට හෙනහුරා ලබා ඇතිබව වැටහුනේ පලමු ශිෂ්‍ය කණ්ඩායම අනුරාධපුර රෝහලට අනුයුක්ත කිරිමෙන් පසුවය.

     මේ අතරතුර පලමු කණ්ඩායමේ අඩි පාරේ ගමන් කිරීමට තෙවන කණ්ඩායමද පැමිණි අතර පීඨයේ ශිෂ්‍ය බල මුළුව 526 දක්වා ඉහල නැංවූයේ පීඨයට නව එළියක් ලබදෙමිනි. ඉන් අනතුරුව උද්ඝෝෂණ ව්‍යාපාර හා අනෙකුත් ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු හේතු කොටගෙන සායනික කටයුතු මන්දගාමීව පටන් ගැණුනි. එහෙත් අවශ්‍ය දේශන ශාලා හිඟය, අනුරාධපුර රෝහලේ පවතින මහා අඩුපාඩු රාශිය හා අවසන් වසර සඳහා මහාචාර්ය ඒකකය නොතීබීම යන ගැටළු උද්ගත විය. මා මෙසේ සඳහන් කරන විට ඔබට මේ ගැටළු ඉතා සුලු සේ පෙනීමට ඉඩ ඇත. නමුත් මේවා ප්‍රධාන ගැටලු පමණක් වන අතර අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන් ලබන කිසිදු     මූලික පහසුකමක් වත් නැතිවීම කණගාටුවට කරුණකි.

     මේ අතරතුර දේශනශාලා හිඟයට පිලිතුරක් ලෙස මෝඩ පාලකයින් අනුරාධපුර ශ්‍රි සම්බුද්ධ ජයන්ති විහාරය ලබා දුන්නනේ අතීසාරයට අමුඩ ගැසීමක් ලෙස යැයි ඔබට වැටහෙනු නොඅනුමානය. බොරු පොරොන්දු අසා තිත්ත වී ශිෂ්‍ය ක්‍රියාමාර්ග හරහා ලබා ගත් ජයග්‍රහණ පැවසීමට මෙම අවස්ථාව ප්‍රමාණවත් නොවේ යැයි මට හැඟෙයි. නව පිබිදිමකින් යුත්තව දේශන ශාලා හා විද්‍යාගාර සදහා ගොඩනැගිලි සපුරා දීම මන්දගාමීව අවසන් වෙමින් පැවතුනද ඒවාට අවශ්‍ය උපකරණ නොමැතිවීම මගින් පැහැදිලි වනුයේ මා ඉහත කී පරිදි පරිපාලනය ගැසු අමුඩයේද සිදුරු ඇති බවයි.

     වර්තමානයේ ඇති මූලික අභියෝගයන් වනුයේ විද්‍යාගාර වලට අවශ්‍ය උපකරණ නොතිබීම, මහාචාර්ය ඒකකය සදහා අවශ්‍ය බිම් කඩ වෙන්කර මුදල් ලබා දුන්නද මේ වන තෙක් කිසිදු ආරම්භයක් සිදුකර නොමැති වීම මගින් අනෙක් වෛද්‍ය පීඨ වලට සමගාමිව මෙම පීඨය වසරකින් හෝ දෙකකින් පසුපසට යාම, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සායනික කටයුතු පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් නොමැති වීම තුලින් මනා පුහුණුවක් ලබා ගැනිමට නොහැකි වීම හා උග්‍ර දේශකවරුන්ගේ හිඟයයි. මෙය මෙසේ තිබියදි පලමු ශිෂ්‍ය කණ්ඩායම කිසිදු ප්‍රායෝගික පරික්‍ෂණයකින් තොරව විභාගවලට මුහුණ දෙන අතර තවමත් උපකුලපති තුමා පවසනුයේ ළමුන් තම වලිගය පාගාගෙන ඇති බවයි. එයින් පෙනෙනුයේ පාලකයින්ගේ මොළය ඇත්තේ හැදි මිටේ බවය.

     වර්තමානයේ සිවු වැනි ශිෂ්‍ය කණ්ඩායමද බඳවා ගෙන ඇති අතර මුළු ශිෂ්‍යයින් ගණන 710 ක් වුවද දේශන ශාලා ඇත්තේ 2 ක් පමණි. එලෙසම ආචාර්ය මහාචාර්ය වරුන්ගේද සමානුපාතික වැඩිවීමක් දක්නට නොමැත. මේ වන විට රජය විසින් අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘතින් කරගෙන යමින් මුදල් නාස්ති කළද අනාගත වෛද්‍ය වරුන් වෙනුවෙන් හා රටේ සෞඛ්‍ය  ක්ෂේත්‍රය වෙනුවෙන් රජරට වෛද්‍ය පීඨය කෙරහි සක්‍රියව දායක නොවන්නේ මේ සඳහා වත්මන් රජයේ ඇති උනන්දුව විදහා පාමිනි. අපගේ ශිෂ්‍ය සංගම් නායකයින් ඇතුලු මෙතෙක් පැවති සියලුම ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ අප්‍රමාණවත් ශක්තිය නොවන්නට අද වන විට රජරට වෛද්‍ය පීඨය සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබුනි.

     2006 සැප්තැම්බර් මස 11 වන දින මා දුටු ළදරු පාසලක් වන් රජරට වෛද්‍ය පීඨය වෙත වසර 3 ක් පිරුණ මේ මොහොතේ  පා නගන විට සැබැ වෛද්‍ය පීඨයක ඇති චමත්කාරය මතුවනු නොඅනුමානය. එහෙත් එහි පතුලට කිමිද බලන කල එහි ඇති අඩුපාඩු රාශියකි. එම අඩු පාඩු ජයග්‍රහනය කිරිමට මේ වන විටත් අපි නොයෙකුත් ක්‍රියාදාමයන් ශිෂ්‍ය බලවෙිගයක් ලෙස සිදුකරමින් සිටිමු. මේ ක්‍රියාදාමයන්ද විශිෂ්ඨ ලෙස ජයග්‍රහනය කිරිමට සැබැ ශක්තියක් රජරට වෛද්‍ය පීඨයේ සිසුන් හට ඇති බව බොහෝ දෙනාට හැඟෙන කරුණකි. කිසිවක් නැතිවාට වඩා තිබෙන සොව්චම වැදගත් යැයි සළකන අපි සියලුම බලවේගයන් එක්කොට ගෙන මේ ගැටලුව නිරාකරණය කර ගැනීමේ මහත් වු අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරමු. ඒ මහඟු වු කාර්ය උදෙසා ආරම්භයේ සිට මෙතෙක් සිටි සැමදෙනාටම තුති පිදීමට රජරට වෛද්‍ය සිසුවකු වන මම අමතක නොකරන අතර අපත් සමග අත්වැල් බැඳ ගන්නට ඔබටද ඇරයුම් කරමි.

     අපගේ දර්ශනයේ ඇත්තේ එකම බලාපොරොත්තුවකි. එනම්, අද අප දමන අත්තිවාරම මතින් ගොඩනගන අනාගතයේ උරුමකරුවෝ වන්නේ අප නොව අපගේ අනාගත පරපුරමය, අද අප මේ කටු ඇති මාවතේ වැටි වැටි නැගිට ඇවිද යන්නෙමු. ඒ, අප රුහිරයෙන් තෙත් වන මාවත දිනෙක මල් මාවත් කරන අටියෙනි.


එච්.පී.ආර් ප්‍රසංග
වෛද්‍ය පීඨය
රජරට විශ්වවිද්‍යාලය. 
http://imfsacsrilanka.blogspot.com/2010/07/blog-post_01.html